Skip to main content

විඤ්ඤාය, අභිඤ්ඤාය, පඤ්ඤාය සහ පරිඤ්ඤාය



විඤ්ඤාය, අභිඤ්ඤාය, පඤ්ඤාය සහ පරිඤ්ඤාය 


*අසා එවා තිබූ ප්‍රශ්ණය*


විඥානයේ හා ප්‍රඥාවේ ඇති බැදීම ආශ්‍රයෙන් ගතහොත් ,


මධුපින්ඩික සුත්‍රයේ පිලිවෙල පහත පරිදි 

ඉන්ද්‍රිය + අරමුණ → විඤ්ඤාණ → ඵස්ස → වේදනා → සඤ්ඤා → විතක්ක → පපඤ්ච → දුක සහ “මම-මගේ” ලෝකය ලෙස ගත් කල විඥානය නිසා (→ ඵස්ස → වේදනා → සඤ්ඤා →)  නිසා විතක්ක →පපඤ්ච උපදින තැනට යනවනේ.


අපි ඒහි විඥානය වෙනුවට ප්‍රඥාව ලෙස ගත්තොත් (→ ඵස්ස → වේදනා → සඤ්ඤා →) විතක්ක නිසා ඇති වෙන්නෙ යොනිසෝ මනසිකාරයද?


මට මෙතන ඇති සැබෑම ප්‍රශ්නය නම් විතක්කයි පිලිබදවයි. 


විඤ්ඤානය හා ප්‍රඥාව යන අවස්ථා දෙකේදිම විතක්කය (විතක්ක හා විචාර ) පවතිනවා නේද? (අවිද්‍යාව) 


විඤ්ඤානය හරහා ගියොත් ප්‍රපංචය හා පපඤ්චසඤ්ඤාසංඛා දක්වා ගියත් 

ප්‍රඥාවෙන් දැක්කොත් එත් විතක්ක විචාර හරහා ගිහින් නේද යොනිසෝමනසිකාරයට එන්නෙ?


*පිළිතුර*


මුලින්ම මම ප්‍රශ්නය පොඩ්ඩක් වෙනස් කරොත්, විදර්ශණා මට්ටමේදී ඉන්ද්‍රිය කියනවට වඩා ප්‍රසාද කියලා වටහා ගමු.


ඊළඟට පෘථග්ජන මනසක, මධු පිණ්ඩික සූත්‍රය ක්‍රියාත්මක වීමේදී සාමාණ්‍ය ලෙස ක්‍රියාත්මක වෙනවා, 


ඔබ මෙහි කියනවා, විඤ්ඤාණය වෙනුවට ප්‍රඥාව දැම්මොත් කියලා. 


මෙහිදී අපි මූලිකවම අවධානය දෙන්න ඕන විඤ්ඤාණයටවත් ප්‍රඥාවටවත් නෙවෙයි


-සතිය/සිහියට

-සති සම්පජඤ්ඤයට


විඤ්ඤාණය දකින සිහිය දියුණු වීම අනුව.


විඤ්ඤාණය එහෙම නැත්නම් විජානාති 

(වෙන්කර දැන ගැනීම) වඩා යථාර්ථවාදී වෙනවා. 


වෙනත් විදියකින් කියනවනම් දකින දේ දකින මාත්‍රයෙන් පමණයි, දිට්ඨේ දිට්ඨ මත්තං පමණයි, දැක්කොත් දැක්කා පමණයි ලෙස ටිකෙන් ටික වටහා ගන්නවා.


එතකොට අනිත් පැත්තෙන් අවිද්‍යාව අඩු වීම තමයි සිද්ධ වෙන්නෙ, විද්‍යාව වැඩි වීම. 

දෙපැත්තෙ බර දාන තරාදියක, 

එකක් පහළ යන කොට ඊට සාපේක්ෂව සහ සමානුපාතිකව අනෙක් පස ඉහළ යෑම වගේ.


පෘථග්ජන ක්‍රියාවලියක සහ සේඛ/ආර්‍ය ස්වභාවයක යන තුන් අවස්ථාවෙම ප්‍රසාද ---> නාම රූප මාත්‍ර ---> චක්ඛු විඤ්ඤාණ ---> පස්ස ---> වේදනා ---> සංඥා යන ක්‍රියාවලිය 

අනූසය මට්ටමේ කෙලෙස් ක්‍රියාත්මක වීමක් ලෙස, විපාක මට්ටමක් ලෙස කොහොමත් සිදුවේ.


ඉන් ඔබ්බේ කොටස් වල ඇති වෙනසක් වේ නම්,


මාර්ග අවස්ථාවේදී ක්‍රියාත්මක වන්නේ සතියයි. එය සක්‍රීයව, වීර්යයෙන් යුතුව කෙලෙස් සමග අරගල කරන, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණ මෙනෙහි කරමින් යථාර්ථය දැකීමට දරන උත්සාහයයි.


ඵල අවස්ථාවට පත්වන විට එය සති සම්පජඤ්ඤය බවට පරිවර්තනය වේ. එනම්, දැඩි උත්සාහයකින් තොරව, සම්පූර්ණ අවබෝධයෙන් හා පැහැදිලි දැකීමෙන් යුතුව අරමුණෙහි යථා ස්වභාවය ස්වයංක්‍රීයවම ග්‍රහණය කරගන්නා ස්ථාවර මට්ටමයි. 


එහිදී අදාළ කෙලෙස් ප්‍රහාණය වී ඇති බැවින් ප්‍රපංචකරණයට අවශ්‍ය ඉන්ධන ස්වාභාවිකවම අහිමි වී යයි.


මෙය මාර්ග ඵල 8 ඔස්සේ නිවැරදිව පෙළගැසෙනවා නම්,


1. සෝවාන් මාර්ගය

යං සංජානාති තං විතක්කේති, යං විතක්කේති තං පපඤ්චේති, යං පපඤ්චේති තතෝ නිධානං පුරිසං පපඤ්ච සංඥා සංඛා සමුදා චරන්ති අතීත අනාගත පච්චුප්පන්නේසු...


සිහියේ ස්වභාවය: මෙහිදී පවතින්නේ බලවත් සතියකි. පෘතග්ජන මට්ටමේදී මෙන් දිගු ප්‍රපංච ජාලයක් මෙහිදීත් ගොඩනැඟෙයි. නමුත්, සතිය සක්‍රීයව අවදි වී ඇති බැවින්, මෙම ප්‍රපංචකරණය පිටුපස 'මම' හෝ 'මගේ ආත්මය' කියා දෙයක් නොමැති බවත්, මෙය හුදෙක් පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියක් පමණක් බවත් දැකීමට සිත නිරන්තර අරගලයක යෙදෙයි. 


සක්කාය දිට්ඨිය බිඳ හෙළීම සඳහා සතිය ත්‍රිලක්ෂණය මතම පිහිටයි.


2. සෝවාන් ඵලය

යං සංජානාති තං විතක්කේති, යං විතක්කේති තං පපඤ්චේති, යං පපඤ්චේති තතෝ නිධානං පුරිසං පපඤ්ච සංඥා සංඛා සමුදා චරන්ති අතීත අනාගත පච්චුප්පන්නේසු...


සිහියේ ස්වභාවය: මෙහිදී සතිය, සති සම්පජඤ්ඤය බවට පත්ව ඇත. දෘෂ්ටිය සහමුලින්ම නිරෝධ වී ඇත. සිතුවිලි දාමය එලෙසින්ම ක්‍රියාත්මක වුවද, සති සම්පජඤ්ඤය ස්ථාවර බැවින් ඒ කිසිදු ප්‍රපංචයක් 'මම' ලෙස ග්‍රහණය කරගන්නේ නැත. සම්පූර්ණ යථාභූත ඥානයෙන් යුතුව අරමුණ දකී.


මේ ඵලය පෘථග්ජන මට්ටමට වඩා වෙනස් වෙන්නෙ ජවන් සිත් තුලදි සහ උපාදාන කොටස් තුළදි පමණයි.


ඒ කොහොමද ? 


මහා ගසක් මුලින් කපා බිම හෙලුවත් ඒ ගසේ අතු පතුරු තව කෙටි කාලයක් සරු සාරව නිබේ, නමුත් නැවත මහා වනයක් නිර්මාණය කිරීමේ හැකියාව ඒ ගස කෙරෙන් ඉවත් වේ, 

සත්තක්ඛත්තුපරම භව 7ක උපරිම සීමාවකට යටත් වීම. 


එහිදී සෝතාපන්නයාගේ ප්‍රපංචයක් සිදුවුණත් එය දෘශ්ඨිගත සම්පයුක්ත නිර්මාණය කිරීමක් නොවන බැවිනි.


උපාදානයත් එසේමය, එහි දිට්ඨුපාදානයක් කිසිසේත් නොකරයි.


3. සකෘදාගාමී මාර්ගය

යං සංජානාති තං විතක්කේති, යං විතක්කේති තං පපඤ්චේති, යං පපඤ්චේති තතෝ නිධානං පුරිසං


සිහියේ ස්වභාවය: කාම රාගය සහ ව්‍යාපාදය තුනී කිරීම උදෙසා සතිය අතිශය තියුණුව ක්‍රියාත්මක වන අවධියයි. සතියේ ඇති බලවත් බව නිසාම, අතීතයට හෝ අනාගතයට සිත දිව යාම (සමුදා චරන්ති) මෙහිදී සීමා වේ. අරමුණක් පැමිණි විට සිත ප්‍රපංචකරණයේ මූලය (තතෝ නිධානං පුරිසං) දක්වා පමණක් ගමන් කර ආපසු හැරේ.


4. සකෘදාගාමී ඵලය

යං සංජානාති තං විතක්කේති, යං විතක්කේති තං පපඤ්චේති


සිහියේ ස්වභාවය: රාග, ද්වේශ දෙක මනාව තුනී වී ඇති බව සති සම්පජඤ්ඤයෙන් යුතුව දකින අවස්ථාවයි. යම් ප්‍රපංචයක් ගොඩනැඟුණත්, සති සම්පජඤ්ඤය පවතින බැවින් ඒ කෙරෙහි ඇලීමක් හෝ ගැටීමක් ඇති කරගැනීමට තරම් කෙලෙස් බරක් සිතෙහි නැත. සිතුවිලි දාමය තවදුරටත් කෙටි වී ඇත.


5. අනාගාමී මාර්ගය

යං සංජානාති තං විතක්කේති, යං විතක්කේති තං පපඤ්චේති


සිහියේ ස්වභාවය: ඉතිරි වී ඇති සියුම් කාම රාගය සහ පටිඝය (ගැටීම) සම්පූර්ණයෙන්ම උදුරා දැමීමට සතිය අඛණ්ඩවම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම මත හිඳ බලන කාලයයි. මෙහිදී සිත ප්‍රපංච කිරීමේ ලක්ෂණය වේගයෙන් අත්හරිමින්, හුදෙක් විතර්කය මත පමණක් රැඳීමට උත්සාහ දරයි.


6. අනාගාමී ඵලය

යං සංජානාති තං විතක්කේති


සිහියේ ස්වභාවය: පරිපූර්ණ සති සම්පජඤ්ඤය ක්‍රියාත්මක වන බැවින්, කාමයට හෝ ව්‍යාපාදයට අදාළ කිසිදු ප්‍රපංචයක් මෙහිදී හටගන්නේම නැත. අරමුණක් සංජානනය කළ විට ඒ පිළිබඳ හුදු විතර්කයක් පමණක් පවතින අතර, එය කිසිසේත්ම සංකීර්ණ සිතුවිලි ජාලයක් බවට වර්ධනය නොවේ.


7. අරහත් මාර්ගය

යං සංජානාති තං විතක්කේති


සිහියේ ස්වභාවය: රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච සහ අවිද්‍යා යන අවසන් සියුම් ක්ලේශයන් නිරෝධ කිරීම සඳහා සතිය එහි උපරිම තියුණු බවින් ක්‍රියාත්මක වේ. 


මෙහිදී අරමුණක් පිළිබඳව හටගන්නා 'විතර්කය' පවා ක්‍රමයෙන් ගිලිහී යමින්, හුදෙක් සංජානනය (දැකීම/ඇසීම පමණක්) දක්වා සිත පිරිසිදු වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙමින් පවතී.


8. අරහත් ඵලය

තං සංජානාති.(එතැන් සිට ක්‍රියා සිත් ලෙස)


සිහියේ ස්වභාවය: ආර්ය මාර්ගයේ උච්චතම අවස්ථාව වන මෙහි පවතින්නේ අකම්පිත, පරම පිවිතුරු සති සම්පජඤ්ඤයයි. සියලු අනුසය කෙලෙස් ප්‍රහාණය වී ඇති බැවින් විතර්ක කිරීමක් හෝ ප්‍රපංචකරණයක් කොහෙත්ම නැත. 


අරමුණ පැමිණි විගස එය හඳුනාගැනීම (සංජානනය) පමණක් සිදුවේ. එතැන් සිට ඇතිවන්නේ කිසිදු කර්මයක් රැස් නොවන 'ක්‍රියා සිත්' පමණි. 


කාරකෝ ච කිරියාය විජ්ජති 

ඒ කියන්නෙ 

ක්‍රියාව කරන්නා ද, ක්‍රියාව ද විද්‍යමාන වේ.


මේ මට්ටම තමයි සදාකාලික ස්ථිර සති සම්පජඤ්ඤය පිහිටීම කියන්නෙ


පරමාර්ථ මට්ටමින්

කම්මස්ස කාරකෝ නත්ථි


ඒ කියන්නෙ කර්මය කරන්නෙකු' හෝ 'විපාක විඳින්නෙකු' කියා ස්ථිර පුද්ගලයෙකු නොමැති බව


24/7 පවතින Third person perspective එකකි,

ඒක සදා නොවෙනස්‍ වේ.


විතක්ක විචාර පවතින්නෙ නෑ 

ප්‍රපංච නෑ, 

සංඥාවෙන් අවසන්.

පුරාණ කර්ම ගෙවීමක් පමණයි, 

හැබැයි ගෙවන්නෙක් නෑ,


නමුත් ඔබේ තර්කයට අනුව, ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අපි උදාහරණයක් ලෙස භාග්‍යවතුන් වහන්සේ ප්‍රණීත ආහාරයක් ප්‍රණීත ආහාරයක් ලෙස හැඳින ගත්තොත්, 


ඒ උන්වහන්සේගේ ප්‍රපංච මට්ටම කිව්වොත්, 

මම නෑ කියන්නෙ නෑ. 

ඇයි ?


විඤ්ඤාය, අභිඤ්ඤාය, පඤ්ඤාය සහ පරිඤ්ඤාය කියන මට්ටම් හතරෙහි සිතු පැතූලෙස යෑමටත් ඉන් ඉවත් වීමටත් ආර්‍ය සහ බුද්ධ මට්ටම් වලට හැකිවේ.


*නමුත් මේවා ප්‍රපංච ලෙස නොහඳුනා ගනියි.*


ඔබට මේවා ප්‍රපංච ලෙස වටහා ගැනීමටම අවශ්‍යයි නම් සිතා ගන්න, 

නව භවයක් තැනීමට අවශ්‍ය මූල බීජ රහිත ප්‍රපංචයක් කියා,


නැවතත් ඔබේ ප්‍රශ්නයට ආවොත්, 


ප්‍රඥාව ක්‍රියාත්මක වීමේදී,


මුලින්ම තේරුම් ගන්න ඕන ප්‍රඥාව 95% ක්‍රියාත්මක වන්නෙ අනාගාමී මට්ටමේදී. 


ඉන් ඔබ්බෙ ප්‍රඥාව වර්ධනය වීම ඉන් පහළ ඕනෑම මට්ටමකදී සිදුවිය හැකිය.


නමුත් අපි කතා කරන්නෙ විඤ්ඤාණය වෙනුවට ප්‍රඥාව දාන්නනම් එසේ නොකර මම 95% ක් ප්‍රඥාව දාලා, 

ඒ අනාගාමී මට්ටමේ සිට කියන්නම්, 


ඒ 95% ප්‍රඥාව තුළ අවිද්‍යාව ඇත. ඒ උද්දම්භාගීය සංයෝජන 5 කිනි, 


-​රූප රාග (රූපාවචර ධ්‍යාන වලට හෝ රූපාවචර බඹලොවට ඇති සියුම් කැමැත්ත)


-​අරූප රාග (අරූපාවචර ධ්‍යාන වලට හෝ අරූපී බඹලොවට ඇති සියුම් කැමැත්ත)


-​මාන ('මම වෙමි' කියා ඉතිරිව පවතින ඉතාම සියුම් අස්මි මානය)


-​උද්ධච්ච (රහත් බව නොලැබීම නිසා සිතේ ඇතිවන ඉතා සියුම් නොසන්සුන්බව)


-​අවිද්‍යා (චතුරාර්ය සත්‍යය පිළිබඳ ඉතිරිව ඇති සියුම්ම නොදැනීම)


95%ක ප්‍රඥාව  කින් ඔවුන් මේ මාන උද්ධච්ච අවිද්‍යා දෙස බලයි 


අන්න එදාට පමණක් ඔහු ශුන්‍යතාවය අත්දකීවි, ඉන් පසු  පරිඤ්ඤාය මට්ටම විවෘත වේ. වෙනත් වචනයකින් එය අප්පතිට්ඨිත විඤ්ඤාණය ලෙස හදුන්වයි .


ඇයි අනාගාමී මට්ටමේදී 95%ක් ප්‍රඥාව කිව්වෙ ?


අනාගාමී ඵල ලාභියා ආර්‍ය ස්වභාවයට පත් වීමට නම් ශුණ්‍යතාවයේහිදී මෙතක් කල් පැවති ​ප්‍රඥාවේ කෘත්‍යය එහෙමත් නැත්නම්, ප්‍රඥාවෙන් මෙතෙක් කල් කරන්න තිබුණු 'රාජකාරිය'. එදාට සදහටම අවසන් වෙනවා.


භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ

"පරිඤ්ඤෙය්‍යං පරිඤ්ඤාතං කියලා ඒ කියන්නේ 

"පිරිසිඳ දත යුතු යම් දෙයක් ඇත්ද එය පිරිසිඳ දකින ලදී" කියන එකයි ඒ මට්ටම තමයි පරිඤ්ඤාය මට්ටම.


​ඒක හරියට රෝගියෙක් සුව වෙන්න බෙහෙත් බොනවා වගේ දෙයක් රෝගය ඒ කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම සුව වුණාට පස්සේ තවත් 'බෙහෙත්' ඒ කියන්නේ 'මාර්ග ප්‍රඥාව' දිය කරලා බොන්න අවශ්‍ය නැහැ.


එතන සම්පූර්ණ නිරෝගීකම ඉතිරි වෙලා තියෙනවා එහෙමත් නැත්නම් ගඟෙන් එගොඩ වෙන්න පාවිච්චි කරපු පහුර එගොඩ වුණාට පස්සේ කරේ තියාගෙන යන්නේ නැහැ, පහුර අත්හරිනවා.


​අන්න ඒ වගේ අරහත් ඵලයට පත් වූ උත්තමයාට චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න කෙලෙස් නසන්න තවත් අමුතුවෙන් ප්‍රඥාවක් වඩන්න අවශ්‍ය වෙන්නේ නැහැ.


ඒ කෘත්‍යය අවසන් එතැන් පටන් ඒ උත්තමයාගේ ප්‍රඥාව කිසිම කර්මයක් රැස් කරන්නේ නැති හුදු 'ක්‍රියා සිතක්' තුළ පවතින අමෝහය බවට පමණක් පත් වෙනවා. එතන 'ප්‍රඥාව නැහැ  කියලා මම කියනවා, ඒ 'ප්‍රඥාව ගැන ඇලීමක් හෝ ප්‍රඥාවෙන් මින් ඉදිරියට කළ යුතු දෙයක් නැති නිසාවෙන, කතං කරණීයං


රූප, වේදනා, සඤ්ඤා, සංඛාර කියන කිසිම තැනක. නොපිහිටන ඇලීමෙන් තොර වූ ඒ විඤ්ඤාණ ස්වභාවය තමයි 'අප්පතිට්ඨිත විඤ්ඤාණය' කියන්නේ අර සියයට සීයක් වැඩුණු ප්‍රඥාවෙන් සියල්ල පිරිසිඳ දැකීම එනම් පරිඤ්ඤාය නිසා විඤ්ඤාණයට පිහිටන්න තැනක් ආයෙත් කවදාවත් හැදෙන්නේ නැහැ.


නමුත් මම දකිනව ඔබ (මේ ප්‍රශ්නය යොමු කල කෙනා.) සෝපාදිශේෂ සහ අනුපාදිශේෂ ස්වභාවයන් සහ පතිඨිත සහ අප්පතිට්ඨිත විඤ්ඤාණ ස්වභාවයන් නිරීක්ශණය කර ඇති ප්‍රමාණය මදි බව. (ප්‍රශ්නයෙන් පමණක් නිර්ණය කරමින් කී කතාවකි)


මට මින් ඔබ්බට මේක පහදා දෙන්න පුලුවන් නමුත් අනවශ්‍යයි කියා හැඟේ. 


*මම මින් පෙර මේ ආකාරයෙන් මේ ධර්මතාවයන් පෙන්වා දී නොමැති බවද කියා සිටිමි. ඉතාම අනර්ඝ විස්තර කිරීමක් මෙහි මම කරලා තියන බව කියමි.


ඔබේ මේ ප්‍රශ්නයම මේ ධර්ම පරියාය පහදා දීමට හේතු විය. 


තෙරුවන් සරණයි !

Comments

Popular posts from this blog

ආණි සූත්‍රය

භාග්‍යවතුන් වදාරණවා,  ‘දසාරභ’ නම් ක්ෂත්‍රිය රජදරුවන්ගේ ‘ආණක’ නම් මිහිඟු බෙරයක් තිවුනා ය. ‘දසාරභ’ නම් මේ මිහිඟු බෙරය පැළුණු කල්හි අන්‍යවූ ඇණයක් දැමූහ.  මේ ‘ආණක’ නම් මිහිඟු බෙරයේ පුරාණ බෙරකඳ කාලයත් සමඟ දිරාපත් විය.  ඇණ සමූහයම ඉතිරිවිය  දැන් ආණක බෙරය කියන්නෙ තව් දුරටත් බෙරයක් ද නැත ඇණ ගොඩකි. “මහණෙනි, එසේම ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ,  සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ,  යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද,  ඒ ධර්මයන් උගත යුතුයයි, පුහුණුකළ යුතුයයි, නොසිත,  කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ,  බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙයිද,  කන් යොමයි ද, දැනගැනීම පිණිස සිත පිහිටුවයි ද,  ඒ ධර්මයන්ද උගත යුතුයයි පුහුණු ක...

විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ?

~ විඤ්ඤාණයට පෙර චක්කු ප්‍රසාදයත් බාහිර රූපයත් කොහි පතිත වී ද ? දස සංයෝජන කියලා මා කියනවනේ මිණුම් දණ්ඩක් භාග්‍යවතුන් වහන්සේ ගෙනහැර පෑවාය කියා.  ඒ දස සංයෝජන මේ ආකාරයෙන් පිළිවෙළින් සක් කාය දිට්ඨි විචිකිච්චා සීලබ්බත පරාමාස කාමච්ජන්ද ව්‍යාපාද රූප රාග  අරූප රාග මාන  උද්ධච්ච අවිද්‍යා සෑම ධර්මයක්ම අනුලෝමවත් පටිලෝමවත් බලන්න කියලා මම සෑම වෙලාවකම කියනවානේ. ඒකට හේතුව ඔබ ශුණ්‍යතාවය කියන තත්වයට යාමත් සිදුවන්නේ සළායතන එකින් එක ක්‍රමයෙන් නිවී යාමෙන්, ශුණ්‍යතාවයෙන් පසු නැවත සංසාර චක්‍රයට ගමන් කිරීම සිදුවන්නෙත් ඒ නිවී ගිය අකාරයටම ප්‍රතිලෝමව.  ඵලය දැකීම අනුලෝමව බැලීම මගින්ද හේතුව දැකීම පටිලෝමව බැලීම මගින්ද  හැකි බව මේ විශ්ව න්‍යායේ තියන ඉතාම සියුම් වූ ලක්ශනයක්. පටිච්ච සමුප්පාදයාකාර කොටස් දොළොස ගත් විට අනුලෝමව බැලුවහොත් අවිද්‍යාවේ සිට ඔබ අවාසාන රූපය ලෙස ජාති ජරා ව්‍යාධි සහ මරණ නම් වූ දුක නම් වූ ඵලය හඳුනා ගන්නවා. පටිච්ච සමුප්පාදය පටිලෝමව බලන කෙනා ජාති ජරා ව්‍යාධි සහ මරණ යනා දී ඵලයන්ගෙන් ආරම්භ කර අවිද්‍යාව එහෙම නැත්නන් නාමරූප විඤ්ඤාණ නම් අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව හේතුව ලෙස දකිමින් හ...

භාවනාව සහ නිවන

භාවනාව සහ නිවන පෙර කර්මය අනුව සැකසුණු නාමරූප ස්වභාව විඤ්ඤාණය හට ගැනීමෙන් හෝ අන්‍යාමන්‍ය ප්‍රත්‍යයෙන් පංචස්කන්ධය නම් හට ගැනීමක් සිදුවේ. එය ප්‍රභාශ්වර ස්වභාවයෙන් හැඳින්වුවද, එය හටගත්තේම ගතිය හේතුවෙනි, එසේ හට ගන්නා මේ ප්‍රභාශ්වර චිත්තය. කුණු මත හට ගැනීම හේතු කර ගෙන නොබෝ දිනකින් කිළිටි වේ. එසේ කිළිටි වී පෙර කී පංචස්කන්දය අල්ලා ගනී, ඒ මත උපාධානස්කන්දය නම් ලෝකය සකස් කර ගන්නා මේ පුද්ගලයා, පෘතග්ජනයා ලෙස හඳුන්වයි. මේ පෘතජනයා තුළ සළායතන නම් සංකල්පය සකස්වී, ඔහු අවිද්‍යාව තුළ මෙසේ කරයි.. ඇස මත රූප හදුනා ගැනීමෙන් ඇසින්, ලෝකය නම් උපාදායී රූපය සකස් කර ගනී, එසේම කන මත ශබ්දයෙන්ද, නාසය මත ගන්ධයෙන්ද, දිව මත රසයෙන්ද, කය මත ස්පර්ශයෙන්ද, මනස මත ධර්මයෙන්ද ලෝකය නම් උපාදායී රූපයන් මවා ගනී... ඒ සදා ගැනීමත් සමගම උපාදානස්කන්ධයට හිමිකම් කියන ඔහුට පංචස්කන්ධය තවදුරටත් ගෝචර නොවේ, දැන් අරමුණු වන සියුම දේ පවා උපාදානස්කන්දයට අයිති දන්තයකි. ඉන්පසු ප්‍රභාෂ්වර ස්වභාවයක් ගැන ඔහු සිතුවද එයද ප්‍රභාශ්වර වගේ යැයි මවා පෙන්වන කිළිටි ස්වභාවය ගැන සිතීමකි, මන්ද ඔහුගේ සෑම සිතුවිල්ලක්...